Friday, May 8, 2015

ප්‍රේම කතාවක්!!!

නේක පැහැයෙන් පාට වත්සුණු තවරනා  දෙකොපුල් ---- දිගේ...
සීත දෙවමින් ගැලූ කඳුලක් වැටුණි උරහිස මත ----------- මගේ...
වේදනාවක නුහුරු හැඟුමක් පපුතුරෙහි අකුණක් ---------- වගේ...
ජීවිතේ කිසිදාක නොපතපු දිනෙක මට  දැනුනා ---------- නගේ...

කෝල බැල්මට ලොබින් වසඟව ආදරේ නම් මුදු --------- සුවේ...
සේද  යහනක සිනිඳු සළු මත විඳපු යුරු හද තුල ---------- මැවේ...
සිනිඳු මල් පෙති තැලුන දවසේ  විඳපු  අපවාදෙට -------- ලොවේ..
නීල දිගු නෙතු   ඉකිබිඳින වග නොදැන මා  උන්නා ----- නොවේ...

රෝස  යායක පිපෙන්නට පැතු මලක් නුඹ කුස තුල ------- හැදේ...
දෑස  මානෙක  නුදුරු  දිනයක අපේ  දෑඟිලි නොම  ----------- බැඳේ...
සාද සැණකෙළි සුබාශිංසන නැතත් හැඟුමට බැඳි ----------- හදේ...
පාද ඔසවමු අපේ ලෝකෙට ලොවට රහසින්  අපි ----------- ළඳේ...

Sunday, May 3, 2015

වෙසක් සුබ පැතුමක් නොවේ !!!

~~~ වෙසක් සුබ පැතුමක් නොවේ ~~~
වෙනදාට මෙන් නැතිව කෙණෙහිලි සඳ අහස් ගැබ --------- දිලෙනවා...
ඒත් පරහට වගේ ඇවිදින් කළු වලාකුළු ----------------------- රවනවා...
දවස් තුන්සිය හැටපහම ගිනි දෙමින් රැස් කර ----------------- තියපුවා...
නොයෙක් ක්‍රමයට ඇඳන් පිරුවට ලෙසින් "දන්සැල්" ------- බෙදනවා...

බුදුන්ගේ තෙමගුල ලෙසින් අපි වෙසක් සඳ දෙස ------------- බලනවා...
නමුත් දහමක නොලියවුණු ලෙස කූඩු තොරන් ද ------------ බඳිනවා...
රැයක් එළිවෙන තුරාවට එහි පහන් දල්වා -------------------- තියනවා...
පොතක් බලනට නැතුව විදුලිය රටේ දරුවන් ---------------- හඬනවා...

දිනක් දෙදිනක් ගතව යන තුරු තෙමගුළට සුබ ---------------- පතනවා...
හරිම සද්දෙට පෝය දවසට කැසට් එක බණ ------------------ කියනවා...
ලබන වසරෙදි අළුත් වෙනකම් අටපට්ටමුත් ----------------- නිවෙනවා...
මකුළුවන්ටත් වැඩක් නැතුවට කූඩුවේ දැල් --------------------- වියනවා...

දොළොස් පොහොයට මස් නොකෑවට වෙනත් දවසට ------- හපනවා...
හතර වෙනිදට ගෙදර සාදෙට කුකුලො දෙන්නෙක් ---------- ඉදෙනවා...
බුදුන්ටත් පංගුව තියා අපි පේරු දානෙත් ----------------------- පුදනවා...
පංචසීලෙට තිබෙන ආලෙට උදේ හවසට --------------------- කියනවා...

උපන් සහතිකෙ අරන් බැලුවම අපේ ආගම -------------------- බෞද්ධ...
බුදුන් ඉපදුන දේශයේ වත් නැතිය මෙහි මෙන් ------------------ ප්‍රසිද්ධ...
නමට ආගම රකින බව අපි ලොවට පෙන්වන ------------------ වැරැද්ද...
හැදෙන දවසක වෙසක් පුන් සඳ නැගෙන්නේ මෙහි ------------ කවද්ද...?

Saturday, May 2, 2015

බුකියේ රිලේශන්ෂිප් හා මගේ ෆස්ට් ලවු එක

දැන් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්ත ගමන් ඉස්සෙල්ලම කරන්නෙ බුකියේ රිලේශන්ෂිප් එක අප්ඩේඩ් කරලා දාන එක. ඒ කියන්නෙ ඉතින් යහළුවන්ට කියලා දාල ප්‍රචාරයක් දෙන එක.

"අහවලා ඉන් රිලේශන්ෂිප් විත් අහවලී ♡♡♡"

ඔන්න ඔය වගේ ස්ටේටස් එකක් තමා අප්ඩේට් කොරන්නේ  ඉතින් .
ඊට පස්සෙ ඉතින් සුබ පැතුම් ජයමංගල ගාථා චැට් මැසේජ් sms ස්කයිප් කෝල් වයිබර් වට්ස් අප් පනිවිඩ එකසිය ගානට එනවා සුබ පතලා.

ඒ කාලෙ ඉතින් අපිට ඕවා නෑ. මම ඉස්සෙල්ලම කෙල්ලෙක් ගැන හිතුවේ ( යාළු උනා නෙවෙයි හිතුවා විතරයි) හයේ පන්තියෙදි ශිෂ්‍යත්වය පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් නගරෙ ඉස්කෝලෙකට ගියා විතරයි.
අඩේ අප්පා ගමේ විද්‍යාලයේ හිටපු හොටු පෙරාගත්ත කෙල්ලො වගේ නෙවෙයි සුකිරි බටිල්ලෝ වගේ කෙල්ලො වැහි වැහල.
පලාතෙම ඉස්කෝල වල ශිෂ්‍යත්ව පාස් ළමයිම A,B,C, කියලා පන්ති තුනකම එක පන්තියක ළමයි 45 ක් විතර ඊට අමතරව තව ඉංගිරිසි හෝඩියේ D අකුරේ ඉඳලා H අකුරට යන කම් හය වසරේ පන්තිම. තව පන්ති පහක් සේරම පන්ති අටයි. ඔය ටිකේ වැඩි හරියක්ම ඉතින් සිඟිති කෙලි පොඩිත්තියෝ තමා ආසාවෙ බෑ.
මටත් ඉතින් ඉස්කෝලෙට ගිහිල්ලා මාසෙකට විතර පස්සෙ ගැන් එකකට සෙට් වෙලා ඉන්නකොට එක සූකිරි බෝලෙකට හිත ගියා එයාගෙ නම මෙතනට ඕනි නෑනෙ පවුල දැක්කොත් විනාශයිනෙ.
ඔය වගේම අපේ ගැන් එකේ ඒ කාලෙ එක ළඟම පුටුවල හිටිය එවුන්

" දුමිඳුවා" ලස්සනට සින්දු කියන හෙන බ්‍රයිටෙක් "රංජල" පට්ට චිත්‍ර කාරයෙක් ඒ කාලෙ කොට ජීවිතය ක්
"රංගන" තාත්තට තොග කඩයක් තිබුන සල්ලි කාරයෙක්.

"සුරංග" බකල් ගගහ දුවන පට්ට ස්පෝටි බුවෙක්

"පාට සරුංගල්" ඒ කියන්නෙ මම නොහොත් "නයනේ" හතර පලේට කොන්ඩේ පීරපු සායක් වගේ කොට කලිසමක් අඳින නොම්මර දාහතේ  විජය කුමාරතුංග වගේ කියලා හිතන බුවෙක්. ෆ්‍රෙඩී සිල්ව කෙනෙක් විතරයි නොහිටියෙ.
දැන් ඉතින් මමයි දුමිඳුවයි ඩයනා කට් එකට කොන්ඩේ කපපු එක ළඟ එකටම ඉන්න කෙල්ලො දෙන්නට ලවු ( හිතින්) අනිත් උන්ගෙ ප්‍රියම්බිකාවො වෙන පන්තිවල. අපි ලවු උනාට කෙල්ලො දෙන්න අපිට කියන්නෙ මළ විකාර ,මළ සමයං දෙක, ඕකුන්ට පිස්සු, මේ අපිත් එක්ක ඔය විකාරවලට එන්න එපා. දැම්ම තියාම මගුල් විසේ ගහලා
"රෝහිණී මිස්ට කියනවා අපි "
කිසිම අනුකම්පාවක් ආදරයක් නෑ ගේම මයි ඉල්ලන්නෙ අපි උන් දිහා බැලුවත් ගස්සනවා.
අපි දෙන්නට දැන් ඉතින් මාර වියෝ දුකක්.

ඔහොම යද්දී දුමිඳුවා ටීචර්ලා නැති වෙන පීරියඩ් වලදී ඩෙස්ක් එකට ගගහා චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙ ජෝතිගෙ පොන්නම්පෙරුමගෙ හෙම සින්දු කියන්න ගත්තා පට්ටම ලස්සනට කියනවා මට ඉතින් තාලෙකට අප්පුඩියක් වත් ගහගන්න බෑ ඒත් ඉතින් අරූ ළඟට වෙලා බොරුවට තාල අල්ල අල්ල ගේම ඇදගෙන යනවා.

කොහොමින් කොහොම හරි ඒ  කාලේ දුමිඳුවගේ  සිංදු අහලා  වශී වෙච්ච  පාර චන්ද්‍රසේන හෙට්ටිආරච්චි අදටත් මගේ ප්‍රියතම ගායකයෙක්.

ඔන්න ඔහොම සති දෙක තුනක් යද්දී අපේ සෙට් එකේම අපතයෙක් මගේ ඩෙස්ක් එකේ රතු පෑනෙන් හාර්ට් දෙකක් ඇඳලා ඒ දෙක හරහා ඊතලයක් ඇඳලා හාර්ට් දෙකේ අපි දෙන්නගේ නම් ලියලා රිලේෂන්ෂිප් එකක් අප්ඩේට් කොරලා තිබු

කිරි අප්පගෙ මෝල් ගහෙන් ආච්චිගේ වංගෙඩිය ට කෙටුවා වගේ... දැන් ඉතින් කතන්දරේ පංති දෙක තුනකම ළමයිට අප්ඩේට් වෙලා... මේ සිද්දිය මෙහෙම පැතිරිලා යද්දී අර කෙල්ලට මාව නයාට අඳුකොළ වගේ උනා කොහොම හරි.. මෙලෝ රහක් නොවිඳම .... හිතින් කරපු කුළුඳුල් ආදරේ ලත් තැනම ලොප් උනා...
ඊට පස්සේ  ඉතින්  ඒ ප්‍රේම  කතාවට ෆුල්ස්ටොප් එක ඉබේම කෙටුනා.

කොහොමින් කොහොම හරි ඒ අවුරුද්දම ගෙවිලා  ගිහින් අපි හත වසරට සමත් උනා.. අර කෙල්ල B  පන්තියේම ඉද්දි අපි කොල්ලෝ  සෙට් එකම A පන්තියට මාරු  උනා අවසන් වාර විභාගයේ ලකුණු  අනුව.. දුමිඳු ගේ  කෙල්ලත් ( හිතින් විතරක් පෙම් කරන ) අපිත් එක්ක A පන්තියට  ආවා..

ඊට  පස්සේ  මගේ  ලව ලොප් උනත් දුමිඳුවගේ ලව වෙනුවෙන්  අපි සෙට් එක නොකඩවා  පෙම් ගී ගයනවා  ටීචර් ලා  පන්තියෙ නැති වෙලාවට...

ඔහොම ඉතින්  වියෝ දුකින්  කාලය ගත වෙනකොට තව සුරංගනාවියකට මගේ  හිත ඇදිලා  ගියා  C පන්තියෙ  හිටපු... දැන් ඉතින් ඉන්ටවල් එකේදී  අපේ සෙට් එකත්  ඇදගෙන  මම C පන්තිය වටේම කැරකෙනවා...

යෞවනය අහලකටවත් ලඟා නොවුනත් ඒ කාලේ  ඉඳලා  මේ තියෙන සඳ මෝල්  ගතිය මගේ ඇඟ පුරාම  තිබුනා. ඉතින් ඔහොම සෙම පෙර පෙරා  කාලේ ගත වෙනකොට මේ කෙල්ලත්  මම දිහා ටිකක් ප්‍රේමාන්විත බැලුම්, නෙත් කැළුම් වගේ  ඒවා  හෙලන්න පටන් ගත්තා...

නමුත් කෙල්ලට  කතා කරලා  ආදරෙයි කියන්න තරම්  දණිස් දෙකෙන් ටිකක් ඉහළට එනකම් පේන්න කොට කලිසම අඳින මං තුමා නොහොත් "පාට සරුංගල් " ගෙ  හිතට ගටක්  ආවේ  නෑ.. දැන් ඉතින් මගේ  හිතේ  තිබුන ලොකුම ප්‍රශ්නය මේ කෙල්ලට  ආදරෙයි  කියලා  කියන්නේ  කොහොමද කියන එක...

ඔය ගැන ඉතින් කල්පනා කර කර ඉන්න කොට මගෙ පුංචි හිතට ආව  සිම්පල් ප්ලෑන් එකක් .. ඒ තමා  ලියුමකින් ලියලා  කෙල්ලට  ආදරේ ප්‍රකාශ  කරන එක... කොහොම හරි ලියුමක්  ලියලා  C පන්තියෙ හිටපු  අපේ යාලුවෙක් (කසුන) ගෙන් තැපැල් කන්තෝරුවේ පියන්ගෙන් වෙන සේවය ලබාගෙන හා හා පුරා  කියලා  මෙලෝ හැඩක් නැති මගේ පොල්ගෙඩි අකුරින් ලියමනක් ලියලා  කෙල්ලට කසුනගේ අතේ තැපැල්  කරා...
( ඒකට  ගාස්තු විදිහට බස් එකේ හොරෙන් ගිහිල්ලා  ඉතුරු කරගත්ත සල්ලි වලින් පියන් රෝල් ලැවරියා  හැලප වගේ  ඒවා සෑහෙන  ගානක් ස්කුල් කැන්ටින් එකෙන් ඌ ට අරන් දෙන්නත්  උනා. )

කොහොමින් කොහොම හරි හැලප බර ගාණකට පිං සිද්ද වෙන්න අරූ කෙල්ලට ලියුම සබ්මිට්  කරා...

කිරි ආච්චිට  බෝංචි කැඩුවා වගේ එදාම ස්කුල් ඇරෙන්න පෙර මට මුතු අකුරු නොවුනත් තීන්ත පෑනකින් ලියපු පිළිතුරු ලිපියක් කසුනා අතේ  හැරෙන තැපෑලෙන් ලැබුනා ..

එයා මට කැමතියි  කියලා


ඉතිරිය පසුවට - මතු සම්බන්ධයි .

Thursday, April 30, 2015

කඳුළු අකුරින් තවම ලියනා විරහවයි නුඹ


රිදේ හිත යට ඇදුම් කවමින් පැසවනා මේ තුවාලය --------- අද...
නොදේ සුවයක් තවම කිසිවිට වෙළුම් ලෑවද සියළු ඔසු ---- බැඳ...
හදේ ගැඹුරෙම නුඹේ නාමෙන් එදා සිට ඉඩ තියා තිබු ------ නද...
ළඳේ මගෙ වරදකුත් නැතිවම මාව හැරදා ගියේ නුඹ ------- මද ...?

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

වැළපෙමි ඉකිගසමි තනිකම දැනෙන පැයේ....
ළතවෙමි දුක්විඳිමි නුඹ අද කොහිද ගියේ...
වගුරමි නෙතු කඳුළු හෙළමින් සුසුම් ළයේ...
ගලපමි වියෝ දුක නොනිදා තවම රැයේ...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

නුඹේ ළමැදෙ හිස තියාන සුසුම් හඬින් ---------- අසාපු...
ප්‍රේම ගීය නොගැයෙයි දැන් හිත කෝ පෙම්---- කරාපු...
අපේ අරුම පෙම් පුවතට කඳුළු ඇතිය --------- හෙළාපු...
දැවේ මහද හැම මොහොතෙම මදිදෝ දුක ------- දරාපු...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

දුරට ඇදුනම ඔබේ ඇසුරින් පෙරට වැඩියෙන් නුඹව දැනුනා...
දුකට ගලනා කඳුළු කැට නිති මගේ දෙනයන මතම රැඳුනා...
අපට අත්වුන අරුම ඉරණම කුමන පවකට උනිද සිතුනා...
නුඹට කලියෙන් මගේ හුස්මට ජීවිතෙන් යන පාර කැපුනා...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

නොහැක දැන්මට ගලපගන්නට ජීවිතේ ඉස්සර වගේ...
නොයෙක් ජීවිත මතක අතරේ නුඹේ සුවඳයි මට අගේ...
ඉමක් නොපෙනෙන කඳුළු තැවරුණ පාළු මං මාවත් දිගේ...
කොතෙක් නම් දුර තවත් යන්නද මේ ගමන වෙහෙසයි නගේ...

කඳුළු හංඟන් සිනාසෙන නුඹ තවම මට ආදරෙ කරත්...
උරුම දුකමයි අපිට සදහට කොහොම පහදන්නද තවත්...
බැඳුන සෙනෙහස දුකම දුන්නට දරාගෙන මම ඒ බරත්...
ඇදෙමි මේ දිවිමංතලාවේ මගේ සගයෙකි දැන් දුකත් ...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

හිත කොනිත්‍තා යළි යළිත් නුඹ දුකම කරමින් එහි වගා...
ළබැඳි පෙමටද රිදුම් දෙන්නේ මේ තරම් දෙවමින් නිගා...
නෙතට කෙතරම් කඳුළු දුන්නත් ඉවසලා නුඹගෙන් හිඟා...
යදින සෙනෙහස කිසිම දිනයක නොවෙයිදෝ මා වෙත ළඟා...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

නොමියෙනා ඒ සොඳුරු සිහිනය වරින් වර හිත පාරවද්දී...
නොදුටුසේ මා කොහොම ඉන්නද මාවතේ ඔබ මුණ ගැසෙද්දී...
පාළුවට හිත පුරා විසිරෙන මේ හැඟුම් යළි ජනිතවෙද්දී...
මොහොතකට හෝ නොම සිනාසෙනු හිතින් මා යළි මිය ඇදෙද්දී...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

තැවරුනා  කඳුළැල් නුවන් යුග සිනහවෙන් වෙළුණු...
වැළපුනා සිහිලැල් හදත් නුඹෙ උණුසුමෙහි රැඳුණු...
නොනිමෙනා ගින්නක මගේ සිත දැවටිලා දැවුණු...
රිදවනා ප්‍රේමය නුඹයි හිත ඉරිතලා බිඳුණු...






හෙරලි ගහේ අවනඩුව!!

වැටේ මැද්දට ඉබේ පැලවුන හෙරලි ගහකට දෙපිල් බෙදිලා...
කරපු රණ්ඩුව නිසා තවමත් මල්ලි නොබලයි ඇහැක් ඇරලා...
බෙදා ගන්නට බැරිව පල වැල සණ්ඩු කර කෙහෙවලුද පටලා...
මගෙයි උඹගෙයි සහෝදර කම මකා දැම්මේ ලෙයින් පිසලා...

දරා ගන්නට බැරිම මොහොතක උදැල්ලෙන් උඹෙ හිසට ගහලා ...
කරපු වරදට මාස හයක්ම ආවෙ මහ උළු ගෙදර තැපලා...
කළු කබා ඇඳි මහත්තැන් ලට මසක් ගානේ පඬුරු පුදලා...
උගස් කළ මගෙ කුඹුරු අක්කර බාගෙ දැන් ඇත සින්න වීලා ...

උදළු පහරට විකල් උන උඹෙ සිහිය නැතුවට තවම ලැබිලා...
එදා විලසම හෙරලි ගහ ඇත නැතිය අපි පෙර ලෙසින් බැඳිලා...
අපේ දරුවන් යන්නෙ මග තොට පෙරට දැක්කොත් කෙලත් ගහලා...
එකම ලේ මේ තරම් විරසක උනේ කොහොමද? කියන් සොයලා...

මල්ලියේ අපි බෙදා ගෙන කෑ එකම රොටියේ දෙකඩ දැකලා...
අම්ම අප්පා ලොවක් දිනුවා අපේ සමගිය ගැනම හිතලා...
පසුව ගෙන ආ බිරින්දෑලගෙ ලොබින් බර උණු කතා අහලා...
කොහොම? අපි විරසක උනාදෝ එක තනෙන් කිරි බීපු උරලා...

Tuesday, April 28, 2015

නැවුම් තනුවකි ජීවිතේ!!

නොනිදාම රැය පහන් වෙන මේ අඳුරු හෝරා කිහිපයේ...
පෙරදාක නැති නුහුරු හැඟුමක් කරයි සැරසිළි මගෙ ළයේ...
රැඳුනාට නුඹ හදෙහි සිතුවිළි මතම සුරඟන ලෙස ප්‍රියේ...
නිම්නාද දෙන නවමු තනුවක් මගෙ සිතාරය මත වැයේ...

ඔබ මට !!

වැස්ස නුඹ විය නොවසිනා මට ඉඩෝරය ගත දවද්දී...
සුළඟ නුඹ විය හමා නොඑනා ගතට දාහය නැගෙද්දී...
උණුසුමයි නුඹ මට නොදැනෙනා රැයේ සීතල දැනෙද්දී...
ප්‍රේමයයි නුඹ මගෙන් ගිලිහෙන නුඹේ සෙනෙහස සොයද්දී...

තොටියා ගෙන් විමසමි??

සඳ  රැස්වැටුන ගඟ මත හිරි ගඩු පිපෙන...
දැඩි සීතලේ එහෙ මෙහෙ යනෙනා ගමන...
අපහසු නැද්ද  හමනා  සුළඟද වැදෙන...
මේ පද බඳින්නේ තොටියෝ නුඹෙ සිහින...

දිවි බර දරන හබලට කර ගැට නැගුන...
දෙඅතට විරාමය කිසිදා හිමි නොවුන...
තම දහදියෙන් හැමගේ පහසුව සදන...
ඔරු කඳ ඔබට ගෙනදේවිද? මතු නිවන...

නිවසේ ඉඳන් කුස ගිනි පවසා හඬන...
ඔබෙ දරු පැටවු උන්නද?  සුවයෙන් නිතින...
නොලබපු සතුට දිවියට නම් හිමි නොවන...
ගන්නට පතනවද? නුඹ ඔරු කඳ වෙතින...

හිමි කම තමන්ගේ ඉවසාගෙන  හැඳින ...
අනුනගෙ සතුට වෙනුවෙන් දහඩිය හෙලන...
නැති මිල මුදල් වෙනුවෙන් සංකා නොවන...
ඔබහට ලැබුනාද? සොච්චම  දිවි රකින...

යුගයක නිබඳ ගුවනෙත් පාලම් හැදෙන...
ඔරු කඳ මතින් දරු පවුලක බර අදින...
නුඹෙ සොච්චමට වින කරනා බව දැනුන ...
මොහොතෙදි සිතට හැඟුමක් ආවද කුමන...??

හීනයකි ඔබෙ ආදරේ!!

නොමදී කිසිදින ඔබෙ හද පතුලෙම තියාගත්ත ආදරේ ------------ සුවේ...
නොනිදා යහනෙම නෙතු පියවෙද්දී මා අභියස අද දිනත් --------- මැවේ...
දකිනා ඒ හැම මිහිරි සිහින නෙතු අබියස බොඳවී මහද ------------ තැවේ...
හිතින් දහස්වර විඳි ඔබෙ උණුසුම කෙදිනක හිමිවෙද පියවි ----- ලොවේ...

Monday, April 27, 2015

සන්නාලියකගේ සිහිනය!!

~~ නුඹටමයි මගෙ "රත්තරං" ~~

ළඟදි යන දීගයට කන කරට ගෙනියන්න රෑ දවල් මම තවම මහනවා...
"රත්තරං" නුඹ තරම් මට අගේ නැතුවාට නුඹෙ අම්ම නිතර ගතු කියනවා...
හෙට්ටියගෙ කඩේ ළඟ හැමදාම නැවතිලා පවුමෙ මිල මම තවත් අහනවා...
එක හිතක් නැති නුඹට පෙම් කරපු වැරද්දට දහදියෙන් මම වන්දි ගෙවනවා

බෝඩිමේ එක ඇඳේ ඉන්න උන් නම් නිතර දඬු මොණර මතින් දුර ඇදෙනවා...
ගමේකම තියාගෙන දුක් විඳින මටත් දැන් උන් නිසා කතන්දර හැදෙනවා...
ජීවිතේ ගෙනා දුක මැෂිමටත් නොදැනෙන්න එකතුකර මම අණ්ඩ දමනවා...
කලාපේ එක රැලට අයාලේ නොගියාට උන්ගෙ නම මටත් පට බැඳෙනවා....

වරින් වර නුඹ ඇවිත් සිදාදියෙ මග කොනක රැඳී මා කරන දේ හොයනවා...
කිසිවෙකුට නොදැනෙන්න කලාපේ ලොකු එකෙක් නිතර මට ඇහැක් ඉඟි කරනවා...
දිය වෙද්දි තරුණකම ගතපුරා දැවටිච්ච හැඟුම් මට පිහිතුඩින් අනිනවා...
නුඹ මාව සැක කලත් ඉස්සරට වැඩියෙනුත් මට නුඹව මහ ගොඩක් වටිනවා...

(සේයාරුව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

Sunday, April 26, 2015

ලොවට කියමි නුඹට නොඇසුනත්

~~ ලොවට කියමි නුඹට නොඇසුනත් ~~
උදාවුන මේ වසන්තය තව නොබෝ දිනකින් හැර ගියත්...
සිනාසෙන ඔය නිල් නුවන් යුග රැඳෙයි මතකය තුල හෙටත්...
දරාගෙන හැම වේදනාවන් කඳුළු මැද ජීවත් උනත් ...
හමායන මේ මදනලත් දැන් මාව රිදවනවා තවත්...

වියරු ලෝකෙක බිඳී විසිරුණු නිවහනේ සිරිකත නැතත්...
කුරුළු කූඩෙක වගේ පැටවුන් හඬනවා මා ළඟ අදත්...
තුරුළු කරගෙන උන්ගෙ දුක සැප හොයා බැලුවත් මගෙ හිතත්...
තුරුණු වයසට හොයන උණුසුම යදිනවා සත්තයි තවත්...

දිනෙක ලස්සන සිහින ලෝකෙක අපේ දරු පැටවුන් සොයා...
විටෙක සිම්ඹා නුඹේ ගැබ්බර කුසෙහි මගෙ නළලත තියා...
පෙමක පිවිතුරු පලය ලෙස නුඹ බිලිඳියන් තිදෙනෙක් තියා...
මවක වී එක සැනයකින් නුඹ අපව හැර තනිකර ගියා..

වෙළඳ දැන්වීමක් නොවේ

තොටුපලකි නුඹ මගේ දිවියට, එතෙර වන්නට නොමැති ඔරුවක්...
කැඩපතකි නුඹ මවා පෙන්වන කිසිදිනක මා නොවිඳි සතුටක්
උණුසුමකි නුඹ හිතට  නොදැනී ගත  පුරාවට  රඟන රැඟුමක්...
සරදමකි නුඹ සියොළඟට මගෙ කොනිති නොගසා දෙවන රිදුමක් ....

ප්‍රේමයෙහි මුදු සුවය නොමවිඳ කියයි නුඹ මට ආලයක් ගැන...
සාගරයෙ රැළි වෙරළ සිඹිනා   කාරණය ගැන අසයි දොඩමින...
ජීවිතයෙ අපි පතා නොමවිත් හමුවුනද මෙහි දෙසිත් නොමදැන...
ආදරයෙ ඇති සොඳුරු හැඟුමන් නොතේරෙන නුඹ තැවෙයි අදදින...

හැකිලෙසින් මා සෑම මොහොතෙම සැනසුවා මුදු නුඹේ හදවත...
පෙරලෙසින් නොදැනුනද නුඹගෙන් ප්‍රිය ළඳුනි සහනයක් මා වෙත...
සනසමින් නුඹ එදා උන් ලෙස රවටලා මගෙ සොඳුරු පෙම් හිත...
පිරිමදියි සිත් පතුල සනහා නුඹ නොදුන් සුව දෙවන මධුවිත...

නාමල් බේබි නොකී කවි!!!

~~~ නාමල් බේබි නොකී කවි ~~~

රට කරවපු අපෙ අප්පට දඬුවම් නොම දෙන්න කියා...
එක දවසක් මැති සබයේ නිදි වරන්න මමත් ගියා...
යස අගේට හිටි උන්දැට අල්ලස් දැල වැටුණු නියා...
මට පුදුමයි බෑ අදහනු දුන්නද? ගත්තාද? කියා...

කරපු තරම් පාදඩ වැඩ කරේ ළඟින් හිටි එවුන් ලු...
අපෙ අප්පා නිර්දෝෂයි මුළු රට එක්සත් කළා  ලු...
ඒ වගේම නිර්භීතයි හිටපු දුටු ගැමුණු වගේ ලු...
උන්දෑ නැති ලංකාවට වෙන සරණක් නම්  නොවේ ලු...

දෑ අවුරුද්දක් ඉතිරිව ඉන්න තියෙද්දිත් බලයේ
අප්පුච්චා  ඉල්ලාගෙන කෑවේ ඇයි මේ වලියේ...
විමලෙ මාම වාසුදේව එක් රැස් කළ ජන රැලියේ...
සල්ලි දීල, බොන්න දීල ගෙනාපු උන්මලු හිටියේ...

බාප්පොච්ච පැනල ගිහින් ඇමරිකාවෙ වහන්වෙලා...
එහේ නොඉඳ මොන අහකට ආවද මෙහෙ පාත් වෙලා...
අල්ලස් කොමිසම ගාවදි හාමුදුරුවො ෆෝම් වෙලා...
ගෝට බාප්පගෙ පිහිටට ආවේ "බොදු බලය" වෙලා...

රාජපක්ෂ වරු සේරම හොර දුෂණ මගඩි කරත්...
මම තවමත් ළාබාලයි පොඩි එකානෙ නීති උගත්...
බැසිල් එදා අප්පුච්චව පරද්දලා  පැනල ගියත්...
රටේ එවුන් පිලිගත්තා කටුනායක තොටට ඇවිත්...

කොහේ කොහොම මොන ජඩ වැඩ කෙරුවත් අපෙ අප්පච්චි ...
මොලේ බිඳක් නැති මිනිසුන් අප්පා ගැන වැලපෙච්චී...
දැන් උන්දැගෙ බලේ නැතත් ලක්දිව නෙත් අඳවෙච්චී...
ගොන් වාහෙල හැම එකෙක්ම මගෙ ලේ නෑයන් වෙච්චී...

මීට රටේ අප්පච්චිගේ ලොකු පුතා.

Saturday, April 25, 2015

දිරිය දියණියගේ පැතුමක්!!!

උහුලලා නුඹ මා හදන්නට ජීවිතේ බර මහමෙරක්...
හිරවෙලා අද වාරු අහිමිව විඳියි දහදුක් කප්පරක්...
අහිමි වී නොපැතූ ලෙසින් යලි මා රකින්නට අත්දෙකක්...
විඳවනා නුඹෙ දුක බලන්නට කුමට මට නිල් ඇස්දෙකක්...

නුඹව රකිනට දිරිය ගන්නට යායුතුය තව බොහො දුරක්...
හිතට දිරි ගෙන දකිමි කෙලෙසක කෙදින හෝ ගමනෙහි නිමක්...
සිනිඳු අත් පොඩි රිදුම් දුන්නට හිතෙහි නෑ කිසි දින දුකක්...
ගෙවන දිවි මග යනෙන මාවත මෙමට නුඹ නොම වෙයි බරක්...

වෙහෙස දනවන ජීවිතේ නුඹ නොවිඳි සැනසුම කිසිදිනේ...
දවස අහවර මිලක් නොලැබුණු දහදියේමයි දියවුනේ...
සසර බවයක කරපු පාපෙක රුදුරු ප්‍රථිපල හිමිවුණේ...
නොවිඳි සැපතක උරුම කඳුළුයි රුදුරු ගින්නක ඇවිලුනේ...

අපට නොදැනෙන නමුදු කුසගිනි නුඹේ දුක් ගිනි හද දවයි...
හිතට සැනසුම නොදෙන සිහිනෙක අසුබ සලකුණු නෙත් පෙළයි...
කඳුළු අතරින් සිනහ වෙන්නට පුංචි හිත මගෙ වෙර දරයි...
දෙඅත් අහිමිව ගියත් රජිඳුනි නුඹ මාව රැකි පිය තුමයි...

තවත් මවකි ඇය

පසුගිය දිනකදී අහම්බයකින් මා ඇමතු විදෙස්ගත සොයුරියකගේ කතාවක් කවියකට නගන්නට තරම් ඇය කියූ කරුණු හැමකකටම වඩා යම්තම් බහ තෝරන වයසේ සිට පියා සොයන ඒ දරු පැටියාගේ හඬ හා අහිංසක සිනහව මගේ පන්හිඳ සංවේදී කළේය. මේ ඒ කතා පුවතයි.

මුවට මුව තබා සිපගෙන සපථවී එදා නළලත
--------------------------------- පෙම්කෙරූ මගේ ආදර හිමිසඳුණි ------ මෙසේ...
නුඹට ලියා දන්වන්නට දුක් ගැනවිලි පවසන්නට
--------------------------------- කඳුළු ඉතිරි නෑ දැන්නම් සිහින් දිගු ------- ඇසේ...
දිනක වඩා නලවන්නට නුඹේ පපුතුරේ තබනට
--------------------------------- පෙරුම් පිරූ කළලය ඇත තවම මා-------- කුසේ...
නමුදු නුඹ නැතේ දකිනට ජීවිතේ බෙදා ගන්නට
--------------------------------- සුවය මා පතන මොහොතක නුඹේ උර --- හිසේ...

දිනෙන් දින ගෙවී ජීවිත මතක පොත ඉබේ පෙරලී
---------------------------------- නුඹේ ගැන මතක හදවත රිදවනා -------- පැයේ...
කුසෙන් එලිය දුටු මොළකැටි සුදු පුතා රැයේ ඇහැරී...
---------------------------------- නුඹේ උණුසුමම ගෙනදී කිරි උරයි ------ ළයේ...
තනිව මුත් තවම රකිනට පතිදමත් ඇතිය හරහට
-------------------------------- ලොවෙන් දස අතින් ගැරහිලි නොකඩවා -- ගැයේ...
නුඹෙන් ලේ උරුම අරගෙන ජීවිතයට හෙටක් හොයන
-------------------------------- අපේ පුතුට නුඹ මොනවද ඉතිරිකර --------- ගියේ...??

පරක් තෙරක් නැති කතරක හැරදමා මෙමන් තනිකර
-------------------------------- නුඹ ගියපු දිනේ මතකෙන් හදපතුල ------- දැවේ....
නිමක් නැති කඳුළු තනිකම වසාගෙන ඇවිත් පපුතුර
------------------------------- අවුලනා ගින්න කිරිකැටි සිනහවෙන් ------- නිවේ....
මවක් ලෙස කිරුළු පළඳා ලොවක් දිනන්නට වෙහෙසුණු
---------------------------- හිතට නුඹ නොමැති තනිකම නොදැනුනා --- නොවේ...
නමක් නුඹ නොදුන් කුමරුන් රජෙක් කරන්නට වෙහෙසෙමි
--------------------------- එයයි මා ලබන සැනසුම හුදකලා -------------- ලොවේ...