Thursday, April 30, 2015

හෙරලි ගහේ අවනඩුව!!

වැටේ මැද්දට ඉබේ පැලවුන හෙරලි ගහකට දෙපිල් බෙදිලා...
කරපු රණ්ඩුව නිසා තවමත් මල්ලි නොබලයි ඇහැක් ඇරලා...
බෙදා ගන්නට බැරිව පල වැල සණ්ඩු කර කෙහෙවලුද පටලා...
මගෙයි උඹගෙයි සහෝදර කම මකා දැම්මේ ලෙයින් පිසලා...

දරා ගන්නට බැරිම මොහොතක උදැල්ලෙන් උඹෙ හිසට ගහලා ...
කරපු වරදට මාස හයක්ම ආවෙ මහ උළු ගෙදර තැපලා...
කළු කබා ඇඳි මහත්තැන් ලට මසක් ගානේ පඬුරු පුදලා...
උගස් කළ මගෙ කුඹුරු අක්කර බාගෙ දැන් ඇත සින්න වීලා ...

උදළු පහරට විකල් උන උඹෙ සිහිය නැතුවට තවම ලැබිලා...
එදා විලසම හෙරලි ගහ ඇත නැතිය අපි පෙර ලෙසින් බැඳිලා...
අපේ දරුවන් යන්නෙ මග තොට පෙරට දැක්කොත් කෙලත් ගහලා...
එකම ලේ මේ තරම් විරසක උනේ කොහොමද? කියන් සොයලා...

මල්ලියේ අපි බෙදා ගෙන කෑ එකම රොටියේ දෙකඩ දැකලා...
අම්ම අප්පා ලොවක් දිනුවා අපේ සමගිය ගැනම හිතලා...
පසුව ගෙන ආ බිරින්දෑලගෙ ලොබින් බර උණු කතා අහලා...
කොහොම? අපි විරසක උනාදෝ එක තනෙන් කිරි බීපු උරලා...

1 comment: