Showing posts with label තොටියාගෙන් විමසමි. Show all posts
Showing posts with label තොටියාගෙන් විමසමි. Show all posts

Tuesday, April 28, 2015

තොටියා ගෙන් විමසමි??

සඳ  රැස්වැටුන ගඟ මත හිරි ගඩු පිපෙන...
දැඩි සීතලේ එහෙ මෙහෙ යනෙනා ගමන...
අපහසු නැද්ද  හමනා  සුළඟද වැදෙන...
මේ පද බඳින්නේ තොටියෝ නුඹෙ සිහින...

දිවි බර දරන හබලට කර ගැට නැගුන...
දෙඅතට විරාමය කිසිදා හිමි නොවුන...
තම දහදියෙන් හැමගේ පහසුව සදන...
ඔරු කඳ ඔබට ගෙනදේවිද? මතු නිවන...

නිවසේ ඉඳන් කුස ගිනි පවසා හඬන...
ඔබෙ දරු පැටවු උන්නද?  සුවයෙන් නිතින...
නොලබපු සතුට දිවියට නම් හිමි නොවන...
ගන්නට පතනවද? නුඹ ඔරු කඳ වෙතින...

හිමි කම තමන්ගේ ඉවසාගෙන  හැඳින ...
අනුනගෙ සතුට වෙනුවෙන් දහඩිය හෙලන...
නැති මිල මුදල් වෙනුවෙන් සංකා නොවන...
ඔබහට ලැබුනාද? සොච්චම  දිවි රකින...

යුගයක නිබඳ ගුවනෙත් පාලම් හැදෙන...
ඔරු කඳ මතින් දරු පවුලක බර අදින...
නුඹෙ සොච්චමට වින කරනා බව දැනුන ...
මොහොතෙදි සිතට හැඟුමක් ආවද කුමන...??