Saturday, April 25, 2015

දිරිය දියණියගේ පැතුමක්!!!

උහුලලා නුඹ මා හදන්නට ජීවිතේ බර මහමෙරක්...
හිරවෙලා අද වාරු අහිමිව විඳියි දහදුක් කප්පරක්...
අහිමි වී නොපැතූ ලෙසින් යලි මා රකින්නට අත්දෙකක්...
විඳවනා නුඹෙ දුක බලන්නට කුමට මට නිල් ඇස්දෙකක්...

නුඹව රකිනට දිරිය ගන්නට යායුතුය තව බොහො දුරක්...
හිතට දිරි ගෙන දකිමි කෙලෙසක කෙදින හෝ ගමනෙහි නිමක්...
සිනිඳු අත් පොඩි රිදුම් දුන්නට හිතෙහි නෑ කිසි දින දුකක්...
ගෙවන දිවි මග යනෙන මාවත මෙමට නුඹ නොම වෙයි බරක්...

වෙහෙස දනවන ජීවිතේ නුඹ නොවිඳි සැනසුම කිසිදිනේ...
දවස අහවර මිලක් නොලැබුණු දහදියේමයි දියවුනේ...
සසර බවයක කරපු පාපෙක රුදුරු ප්‍රථිපල හිමිවුණේ...
නොවිඳි සැපතක උරුම කඳුළුයි රුදුරු ගින්නක ඇවිලුනේ...

අපට නොදැනෙන නමුදු කුසගිනි නුඹේ දුක් ගිනි හද දවයි...
හිතට සැනසුම නොදෙන සිහිනෙක අසුබ සලකුණු නෙත් පෙළයි...
කඳුළු අතරින් සිනහ වෙන්නට පුංචි හිත මගෙ වෙර දරයි...
දෙඅත් අහිමිව ගියත් රජිඳුනි නුඹ මාව රැකි පිය තුමයි...

2 comments:

  1. ආ මේක ඔයාගේ බ්ලොග් එක නේද නයන කාන්ත මහත්තය , ඔන්න බ්ලොග් රෝලට එල්ලුවා

    ReplyDelete
  2. පහන් හැඟුම් හා සංවේදනාවන් රැසක් දනවන අපූරු විචිත්‍ර කවිපෙළක් ලකී...
    මං අදයි දන්නේ මේ බ්ලොග් එක ගැන...

    ReplyDelete