Monday, April 27, 2015

සන්නාලියකගේ සිහිනය!!

~~ නුඹටමයි මගෙ "රත්තරං" ~~

ළඟදි යන දීගයට කන කරට ගෙනියන්න රෑ දවල් මම තවම මහනවා...
"රත්තරං" නුඹ තරම් මට අගේ නැතුවාට නුඹෙ අම්ම නිතර ගතු කියනවා...
හෙට්ටියගෙ කඩේ ළඟ හැමදාම නැවතිලා පවුමෙ මිල මම තවත් අහනවා...
එක හිතක් නැති නුඹට පෙම් කරපු වැරද්දට දහදියෙන් මම වන්දි ගෙවනවා

බෝඩිමේ එක ඇඳේ ඉන්න උන් නම් නිතර දඬු මොණර මතින් දුර ඇදෙනවා...
ගමේකම තියාගෙන දුක් විඳින මටත් දැන් උන් නිසා කතන්දර හැදෙනවා...
ජීවිතේ ගෙනා දුක මැෂිමටත් නොදැනෙන්න එකතුකර මම අණ්ඩ දමනවා...
කලාපේ එක රැලට අයාලේ නොගියාට උන්ගෙ නම මටත් පට බැඳෙනවා....

වරින් වර නුඹ ඇවිත් සිදාදියෙ මග කොනක රැඳී මා කරන දේ හොයනවා...
කිසිවෙකුට නොදැනෙන්න කලාපේ ලොකු එකෙක් නිතර මට ඇහැක් ඉඟි කරනවා...
දිය වෙද්දි තරුණකම ගතපුරා දැවටිච්ච හැඟුම් මට පිහිතුඩින් අනිනවා...
නුඹ මාව සැක කලත් ඉස්සරට වැඩියෙනුත් මට නුඹව මහ ගොඩක් වටිනවා...

(සේයාරුව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

1 comment: