Thursday, April 30, 2015

කඳුළු අකුරින් තවම ලියනා විරහවයි නුඹ


රිදේ හිත යට ඇදුම් කවමින් පැසවනා මේ තුවාලය --------- අද...
නොදේ සුවයක් තවම කිසිවිට වෙළුම් ලෑවද සියළු ඔසු ---- බැඳ...
හදේ ගැඹුරෙම නුඹේ නාමෙන් එදා සිට ඉඩ තියා තිබු ------ නද...
ළඳේ මගෙ වරදකුත් නැතිවම මාව හැරදා ගියේ නුඹ ------- මද ...?

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

වැළපෙමි ඉකිගසමි තනිකම දැනෙන පැයේ....
ළතවෙමි දුක්විඳිමි නුඹ අද කොහිද ගියේ...
වගුරමි නෙතු කඳුළු හෙළමින් සුසුම් ළයේ...
ගලපමි වියෝ දුක නොනිදා තවම රැයේ...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

නුඹේ ළමැදෙ හිස තියාන සුසුම් හඬින් ---------- අසාපු...
ප්‍රේම ගීය නොගැයෙයි දැන් හිත කෝ පෙම්---- කරාපු...
අපේ අරුම පෙම් පුවතට කඳුළු ඇතිය --------- හෙළාපු...
දැවේ මහද හැම මොහොතෙම මදිදෝ දුක ------- දරාපු...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

දුරට ඇදුනම ඔබේ ඇසුරින් පෙරට වැඩියෙන් නුඹව දැනුනා...
දුකට ගලනා කඳුළු කැට නිති මගේ දෙනයන මතම රැඳුනා...
අපට අත්වුන අරුම ඉරණම කුමන පවකට උනිද සිතුනා...
නුඹට කලියෙන් මගේ හුස්මට ජීවිතෙන් යන පාර කැපුනා...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

නොහැක දැන්මට ගලපගන්නට ජීවිතේ ඉස්සර වගේ...
නොයෙක් ජීවිත මතක අතරේ නුඹේ සුවඳයි මට අගේ...
ඉමක් නොපෙනෙන කඳුළු තැවරුණ පාළු මං මාවත් දිගේ...
කොතෙක් නම් දුර තවත් යන්නද මේ ගමන වෙහෙසයි නගේ...

කඳුළු හංඟන් සිනාසෙන නුඹ තවම මට ආදරෙ කරත්...
උරුම දුකමයි අපිට සදහට කොහොම පහදන්නද තවත්...
බැඳුන සෙනෙහස දුකම දුන්නට දරාගෙන මම ඒ බරත්...
ඇදෙමි මේ දිවිමංතලාවේ මගේ සගයෙකි දැන් දුකත් ...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

හිත කොනිත්‍තා යළි යළිත් නුඹ දුකම කරමින් එහි වගා...
ළබැඳි පෙමටද රිදුම් දෙන්නේ මේ තරම් දෙවමින් නිගා...
නෙතට කෙතරම් කඳුළු දුන්නත් ඉවසලා නුඹගෙන් හිඟා...
යදින සෙනෙහස කිසිම දිනයක නොවෙයිදෝ මා වෙත ළඟා...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

නොමියෙනා ඒ සොඳුරු සිහිනය වරින් වර හිත පාරවද්දී...
නොදුටුසේ මා කොහොම ඉන්නද මාවතේ ඔබ මුණ ගැසෙද්දී...
පාළුවට හිත පුරා විසිරෙන මේ හැඟුම් යළි ජනිතවෙද්දී...
මොහොතකට හෝ නොම සිනාසෙනු හිතින් මා යළි මිය ඇදෙද්දී...

<<<>>>  <<<>>> <<<>>> <<<>>>

තැවරුනා  කඳුළැල් නුවන් යුග සිනහවෙන් වෙළුණු...
වැළපුනා සිහිලැල් හදත් නුඹෙ උණුසුමෙහි රැඳුණු...
නොනිමෙනා ගින්නක මගේ සිත දැවටිලා දැවුණු...
රිදවනා ප්‍රේමය නුඹයි හිත ඉරිතලා බිඳුණු...






හෙරලි ගහේ අවනඩුව!!

වැටේ මැද්දට ඉබේ පැලවුන හෙරලි ගහකට දෙපිල් බෙදිලා...
කරපු රණ්ඩුව නිසා තවමත් මල්ලි නොබලයි ඇහැක් ඇරලා...
බෙදා ගන්නට බැරිව පල වැල සණ්ඩු කර කෙහෙවලුද පටලා...
මගෙයි උඹගෙයි සහෝදර කම මකා දැම්මේ ලෙයින් පිසලා...

දරා ගන්නට බැරිම මොහොතක උදැල්ලෙන් උඹෙ හිසට ගහලා ...
කරපු වරදට මාස හයක්ම ආවෙ මහ උළු ගෙදර තැපලා...
කළු කබා ඇඳි මහත්තැන් ලට මසක් ගානේ පඬුරු පුදලා...
උගස් කළ මගෙ කුඹුරු අක්කර බාගෙ දැන් ඇත සින්න වීලා ...

උදළු පහරට විකල් උන උඹෙ සිහිය නැතුවට තවම ලැබිලා...
එදා විලසම හෙරලි ගහ ඇත නැතිය අපි පෙර ලෙසින් බැඳිලා...
අපේ දරුවන් යන්නෙ මග තොට පෙරට දැක්කොත් කෙලත් ගහලා...
එකම ලේ මේ තරම් විරසක උනේ කොහොමද? කියන් සොයලා...

මල්ලියේ අපි බෙදා ගෙන කෑ එකම රොටියේ දෙකඩ දැකලා...
අම්ම අප්පා ලොවක් දිනුවා අපේ සමගිය ගැනම හිතලා...
පසුව ගෙන ආ බිරින්දෑලගෙ ලොබින් බර උණු කතා අහලා...
කොහොම? අපි විරසක උනාදෝ එක තනෙන් කිරි බීපු උරලා...

Tuesday, April 28, 2015

නැවුම් තනුවකි ජීවිතේ!!

නොනිදාම රැය පහන් වෙන මේ අඳුරු හෝරා කිහිපයේ...
පෙරදාක නැති නුහුරු හැඟුමක් කරයි සැරසිළි මගෙ ළයේ...
රැඳුනාට නුඹ හදෙහි සිතුවිළි මතම සුරඟන ලෙස ප්‍රියේ...
නිම්නාද දෙන නවමු තනුවක් මගෙ සිතාරය මත වැයේ...