Monday, April 27, 2015

සන්නාලියකගේ සිහිනය!!

~~ නුඹටමයි මගෙ "රත්තරං" ~~

ළඟදි යන දීගයට කන කරට ගෙනියන්න රෑ දවල් මම තවම මහනවා...
"රත්තරං" නුඹ තරම් මට අගේ නැතුවාට නුඹෙ අම්ම නිතර ගතු කියනවා...
හෙට්ටියගෙ කඩේ ළඟ හැමදාම නැවතිලා පවුමෙ මිල මම තවත් අහනවා...
එක හිතක් නැති නුඹට පෙම් කරපු වැරද්දට දහදියෙන් මම වන්දි ගෙවනවා

බෝඩිමේ එක ඇඳේ ඉන්න උන් නම් නිතර දඬු මොණර මතින් දුර ඇදෙනවා...
ගමේකම තියාගෙන දුක් විඳින මටත් දැන් උන් නිසා කතන්දර හැදෙනවා...
ජීවිතේ ගෙනා දුක මැෂිමටත් නොදැනෙන්න එකතුකර මම අණ්ඩ දමනවා...
කලාපේ එක රැලට අයාලේ නොගියාට උන්ගෙ නම මටත් පට බැඳෙනවා....

වරින් වර නුඹ ඇවිත් සිදාදියෙ මග කොනක රැඳී මා කරන දේ හොයනවා...
කිසිවෙකුට නොදැනෙන්න කලාපේ ලොකු එකෙක් නිතර මට ඇහැක් ඉඟි කරනවා...
දිය වෙද්දි තරුණකම ගතපුරා දැවටිච්ච හැඟුම් මට පිහිතුඩින් අනිනවා...
නුඹ මාව සැක කලත් ඉස්සරට වැඩියෙනුත් මට නුඹව මහ ගොඩක් වටිනවා...

(සේයාරුව අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

Sunday, April 26, 2015

ලොවට කියමි නුඹට නොඇසුනත්

~~ ලොවට කියමි නුඹට නොඇසුනත් ~~
උදාවුන මේ වසන්තය තව නොබෝ දිනකින් හැර ගියත්...
සිනාසෙන ඔය නිල් නුවන් යුග රැඳෙයි මතකය තුල හෙටත්...
දරාගෙන හැම වේදනාවන් කඳුළු මැද ජීවත් උනත් ...
හමායන මේ මදනලත් දැන් මාව රිදවනවා තවත්...

වියරු ලෝකෙක බිඳී විසිරුණු නිවහනේ සිරිකත නැතත්...
කුරුළු කූඩෙක වගේ පැටවුන් හඬනවා මා ළඟ අදත්...
තුරුළු කරගෙන උන්ගෙ දුක සැප හොයා බැලුවත් මගෙ හිතත්...
තුරුණු වයසට හොයන උණුසුම යදිනවා සත්තයි තවත්...

දිනෙක ලස්සන සිහින ලෝකෙක අපේ දරු පැටවුන් සොයා...
විටෙක සිම්ඹා නුඹේ ගැබ්බර කුසෙහි මගෙ නළලත තියා...
පෙමක පිවිතුරු පලය ලෙස නුඹ බිලිඳියන් තිදෙනෙක් තියා...
මවක වී එක සැනයකින් නුඹ අපව හැර තනිකර ගියා..

වෙළඳ දැන්වීමක් නොවේ

තොටුපලකි නුඹ මගේ දිවියට, එතෙර වන්නට නොමැති ඔරුවක්...
කැඩපතකි නුඹ මවා පෙන්වන කිසිදිනක මා නොවිඳි සතුටක්
උණුසුමකි නුඹ හිතට  නොදැනී ගත  පුරාවට  රඟන රැඟුමක්...
සරදමකි නුඹ සියොළඟට මගෙ කොනිති නොගසා දෙවන රිදුමක් ....

ප්‍රේමයෙහි මුදු සුවය නොමවිඳ කියයි නුඹ මට ආලයක් ගැන...
සාගරයෙ රැළි වෙරළ සිඹිනා   කාරණය ගැන අසයි දොඩමින...
ජීවිතයෙ අපි පතා නොමවිත් හමුවුනද මෙහි දෙසිත් නොමදැන...
ආදරයෙ ඇති සොඳුරු හැඟුමන් නොතේරෙන නුඹ තැවෙයි අදදින...

හැකිලෙසින් මා සෑම මොහොතෙම සැනසුවා මුදු නුඹේ හදවත...
පෙරලෙසින් නොදැනුනද නුඹගෙන් ප්‍රිය ළඳුනි සහනයක් මා වෙත...
සනසමින් නුඹ එදා උන් ලෙස රවටලා මගෙ සොඳුරු පෙම් හිත...
පිරිමදියි සිත් පතුල සනහා නුඹ නොදුන් සුව දෙවන මධුවිත...